Thursday, May 30, 2013

ජයන්ති පරිවේණාධිපති ස්වාමීන්වහන්සේගේ පණිවිඩය ...



            1903 වැනි කාල සීමාව වන විට අපේ රටේ දේශීය අධ්‍යාපන වරප්‍රසාද ලත් ප්‍රභූ පිරිසකට පමණක් උරුම වූ අයිතිවාසිකමක් බවට පත්වී තිබුණි. ඉංග්‍රීසි භාෂාව මාධ්‍යය කරගත් එම අද්‍යාපනය ලැබීමේ උරුමය ලබා සිටියේද 5% තරම් ඉත සුළු පිරිසක්ය. සිංහල භාශාව, බුද්ධාගම ඉගැන්වීමට ප්‍රමුඛත්වය නොදීම නිසා එයින් දැඩි අසාධාරණයක් සිදු වූයේ මෙරට බහුතරය වූ සිංහල  බෞද්ධයන්ටය. වැඩවසම් සමාජ ක්‍රමය තහවුරුව තිබූ මේ යුගයේ ස්ථාපිත වූ කුල ක්‍රමය අනුව තම පියාගේ ‍රැකියාව පුතාට උරුම වීම හැරෙන්නට එයට වඩා උසස් යැයි පිළිගත් පරිපාලනය ඉංජිනේරු හා වෛද්‍ය වැනි වෘත්තීන්හි අවස්ථාවන් ලබා ගැනීමට සිංහල බෞද්ධ දරුවා භාග්‍යවත් නොවීය. රජයේ ‍රැකියාවක් වශයෙන් ගුරු වෘත්තියත් ලිපිකරු සේවයත් ලබා ගත හැකි වූයේද නගරබදව ජීවත් වූ සුළු පිරිසකටය.
          මෙවන් අධ්‍යාපනික පරිසරයක් 20 වන සියවස මුල් භාගය වූ 1903 වැනි කාලයක මුලු මහත් ශ්‍රී ලංකාවම වෙලාගත් සිංහල බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ පීඩාවන්ට මෙන මඩහපොල වැනි එවකට අති දුෂ්කර ගම්මන වලට මූනපාන්නට සිදුව තිබුණි. එවකට මෙම මඩහපොල ශ්‍රී රත්නපාලාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩසිටි මදිපොළ රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහ දිසාපති පුංචිබණ්ඩාර මඩහපොල මැතිතුමන් සහ ගමේ ප්‍රභූන් ගමේ අධ්‍යාපනික දුෂ්කරතාව තෙරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1903 මැයි මස දින දැනට මඩහපොල මහින්ද මහා විද්‍යාලයේ පිහිටා ඇති භූමියේ ඉතා සුළු පිරිසකගෙන් පාසලක් ආරම්භ්හ කරන්නට යෙදුණි.
          මෙම පාසලට 1950 ගණන් වන තුරු පැවතියේ එකම පාසල් ගොඩනැඟිල්ලක් පමණි. එවකට සිසුන්ගේ ප්‍රමාණයට එය සෑහෙන්නක් විය. පසුකාලීන සිසුන්ගේ ප්‍රමාණය වැඩිවත්ම විවිධ ගොඩනැඟිලි ඉදිකර ඇති බව පෙනී යයි. මෙහි එකම ගොඩනැගිල්ලක්වත් අවුරුදු සියයක සංවත්සරය සමරණ අවස්ථාවට ප්‍රමාණවත් නොවේ. මෑතක කාලය වනතෙක්ම පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමක්වත් මූලික යටිතල පහසුකම් සැපයීමක් හෝ සිදු නොවී පිරිහීමේ ආගාධයට වැටී තිබුණි. අධ්‍යාපන මට්ටම හා සිසුන් ප්‍රමාණය අතින්ද දුර්වල තත්වයකට වැටෙමින් පැවතුණි.
          යටිතල පහසුකම් අංශයෙන් හා අධ්‍යාපනික අංශයෙන් පවතින මෙම දුර්වලතාවයන් මගහරවා පාසල ඉදිරිපස තාප්පයක් බඳවා ප්‍රමාණවත් දියුණුවකට පත් කිරීමට වත්මන් විදුහල්පති සිසිර කුමාර මහතා දෙගුරුන්ගේද ආදී සිසුන්ගේද සහභාගීත්වයෙන් උත්සාහ ගන්නා බව පෙනී යයි. මේ නිසා මෙම පාසලට හොඳ පාසල් පරිසරයක් කරා ළඟා වී ඇති බව පෙනී යයි.
             2013. 05.27  දින වන විට පාසල ආරම්භ කර අවුරුදු 100 පිරීම නිමිති කරගෙන පැවැත්වෙන සංවත්සරය වෙනුවෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සංඝගත දක්ෂිනාවක් පිරිනමා 30 වන දින උත්සව මහා සභාවක් පැවැත්වීමට නියම කරගෙන ඇත. මඩහපොල මහින්ද මහා විද්‍යාලය මගින් මේ වන විට රට ජාතිය ආගමට අපරිමිත සේවයක් සිදු කරන දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් හදා වඩා රටට දායාද කර ඇත. එම ප්‍රෞඪ අතීතයේ සිදු කළ සේවාවන් සිහිපත් කර ශත සංවත්සර උත්සවයක් පැවැත්වීමට ඇති අභිමානවත් අයිතිය මත සිදු කරන සියලු සැමරුම් සාරවත් වේවා. මෙයින් පසුව උදාවන දෙවන ශත සංවත්සරයේ ආරම්භක අවස්ථාවේ මෙම මඩහපොල මහින්ද මහා විද්‍යාලයට යහපත් අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමි.

මඩහපොල මංගල ස්ථවිර
           විහාරාධිපති


No comments:

Post a Comment