Thursday, May 30, 2013

විදුහල්පතිතුමාගේ පණිවිඩය ...




        මඩහපොල මහින්ද මහා විද්‍යාලය යනු මහව අධ්‍යාපන කලාපයේ පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාශයේ කෙලවරම පිහිටි පාසලකි. ඉතිහාසයේ මෙම පාසල පළාතේ කීර්තිමත්ම පාසලක් බවට පත්ව තිබුණි. එදා මෙදා තුර වසර 100 ක් ගෙවුනු මඩහපොල මහින්ද මහා විදුහල් මාතාවගේ සේවකයෙකු වීමට මටද භාග්‍ය උදා වීම භාග්‍යක් කොට සලකමි. මෙම පාසල මෙම වසර සියය තුල යම් තත්වයකට ගෙන ඒමට ඉතිහාසයේ සිට කටයුතු කල සැමට මාගේ ගෞරවය පිරිනමමි.
        ශත සංවත්සරය ඉදිරියේ තබාගෙන පාසල භාරගත් මට විශාල අභියෝග රාශියක් තිබුණි. ඒ සියල්ල ජය ගනිමින් වත්මන් කාර්ය මණ්ඩලය හා ආදී සිසුන්, දෙමාපියන්, දූ දරුවන් සමග ඉදිරියට යන්නට කටයුතු කරමි.
        පාසලක තීරණාත්මක සාධකය වන්නේ දරුවන්ය. හය හතර නොතේරෙන මට්ටමේ සිටිමින් පාසලට පැමිනෙන දරුවන් තුළ ගැබ්ව ඇති කුසලතා හා ශක්තීන් මතු කරමින් එය ලොවට විකසිත කර දීමට ප්‍රධාන කාර්ය කල හැකි වන්නේ ගුරුවරුන්ටය. එබැවින් එම කාර්යය සිදු කිරීමට නම් පාසලේ ගුරුවරයා පරමාදර්ශී චරිතයක් බවට පත්ව සිට කටයුතු කළ යුතුව තිබේ. ගුරුවරයාගේ ආකල්ප, කුසලතා, දැනුම හැසිරීම, ඇඳුම පැළඳුම, ආදී සියල්ලම දරුවාගේ පෞර්ෂ වර්ධනය කෙරෙහි බලපානු ඇත. එබැවින් වර්තමාන ගුරුවරයාට මුහුණ දීමට අභියොග ‍රැසක් පවතී. බෞද්ධ ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන අප රටේ මිනිසුන් තුල එම ශ්‍රේෂ්ඨ සංස්කෘතියේ අද ඉතිරිව ඇත්තේ නටඹුන් පමණි.
        තම රටේ අනන්‍යතාවය තබාගෙන ඉදිරියට යාමට ක්‍රමවේදයක් රට තුල නැත. ඒ වෙනුවට විවිධ සංස්කෘතීන්ගෙන් සංකලනය වූ ඔද්දල වූ සංස්කෘතියක් කරා සමාජය තල්ලු වී අවසානය. එය නැවත සකස් කළ නොහැකි තත්වයකට පත්ව තිබේ. පාසල් දරුවාද අද මෙම සංස්කෘතියට තල්ලු වී අවසානය.
          මෙම මහා ඛේදවාචකයෙන් රටක් අනාගත පරම්පරාවෙන් බේරා ගැනීමට නම් ආගමික නායකයන්, රාජ්‍ය නායකයන්, පාසල් ප්‍රධානීන් හා ගුරුවරුන් දෙමාපියන් ආදී සියලු සාමාජීය කොටස් ඒකරාශී වී ක්‍රමවත් වැඩ පිලිවෙලක් ඔස්සේ ගමන් කළ යුතුය. එසේ නොමැතිව හුදකලා වී පාසල පමණක් මෙය ගොඩ නැගීමට වෙර දැරීම නිෂඵල ක්‍රියාවකි. එසේ අන්ඳුරට ශාප කිරීම නවතා එක් පහනක් හෝ දැල්වීම සුදුසුය යන සංකල්පයේ පිහිටා යහපත් වූ සමාජ වටපිටාවක් ගොඩ නැගීමට පාසල නැමති ආයතනයේ සාමාජිකයන් වන අප කටයුතු කල යුතුව ඇත.
         මේ කාර්යය සිදු කිරීමේදී පවතින සමහර නීති රීති පවා වෙනස් කළ යුතුව තිබේ. එය අපට කළ නොහැකි බැවින් බලධාරීන් ඒ සඳහා ක්‍රියා කලයුතුව ඇත. එසේ නොවුනු කළ පොල් ගෙඩි 8ක් ගත් දරුවාගේ හෝ සිසුන් 11 අපයෝජනයට ලක් කළ පුද්ගලයාගේ කතාවට තිත තැබිය නෝහැකිය.
          එබැවින් සමාජයේ සාමාජිකයන් වන අප සෑම දෙනාම එකතුව මේ සඳහා සක්‍රීයව වැඩපිළිවෙලකට කඩිනමින් යා යුතුව ඇත. එසේ නොවුනු කළ අනේ අපොයි යන කතාව සැමදා කිය කියා සිටීමට සිදුවනු ඇත. වර්තමාන පාසලක සිදු කරනු ලබන්නේ දිරාගිය සංස්කෘතියකට ඇණ ගසමින් දවසක් හෝ ‍රැක ගැනීමට වෙර දැරීම පමණකි.
           මඩහපොල මහින්ද මහා විද්‍යාලයට වසර සියයක් සපිරෙන අද දවසේ මහින්දය සතු ප්‍රධාන අභියෝගය වන්නේ ද සිසු කුසලතා වැඩිදියුණු කිරීම පමණක් නොව ඉහත ව්‍යවසනයෙන් අනාගත පරපුර ‍රැක ගැනීමට තනිව හෝ සටන් කිරීමට කටයුතු කිරීමටය. එයට සැමදෙනාම එක්වන ලෙසද ඉල්ලීමක් කරමි.
            ගත වූ වසර සියය තුල අපගේ රට වෙනුවෙන් වැඩ කිරීමට පුද්ගලයන් බිහි කළ මහින්ද මාතාවට චිරං ජයතු යැයි ප්‍රාර්ථනා කරන අතර, විදුහල්පති, ගුරු, සිසු, ආදී මහින්දයන්ටත්, මෙදින සහභාගී වූ සියළු මැති ඇමති හා නිල දරුවන්ටත්, දරුවන් හා දෙමාපියන්ටත් පාසැල වෙනුවෙන් සේවය කළ සැමටත් මගේ ගෞරවය පිරිනමමි.

                        K. W. J. S.  කුමාර
                        විදුහල්පති
                        මඩහපොල මහින්ද මහා විද්‍යාලය
                        2013.05.05


   

1 comment: